FaLang translation system by Faboba
වාහන සහ සතුන් සදහා බදු අය කිරීම

1987 අංක 15 ප්‍රාදේශීය සභා පනතට අනුව මෙම බද්ද කාර්, ලොරි, යතුරු පැදි සහ මෝටර් රථ වාහන පනත යටතට වැටෙන අනෙකුත් මෝටර් වාහන වලට අදාල නොවේ.

ප්‍රාදේශීය සභාව නියමකරන දිනට පෙර හෝ අනු නීති මගින් නියම කරන දිනට පෙර මෙම බලපත්‍රය ලබා ගත යුතුය.

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුල තබා ගන්නා හා භාවිත කරනු ලබන බයිසිකල්, ට්‍රයිසිකල්, ට්‍රයිසිකල් කරත්ත, අත් කරත්ත, රික්ෂෝ, අශ්වයින් හා පෝනීන් මෙම බද්දට අයත් වේ.

පටිපාටිය

  • මේ සදහා නිශ්චිත අයදුම්පතක් නොමැති අතර ප්‍රාදේශීය සභාව වෙත ගෙවනු ලබන බදු මුදල සදහා රිසිට් පතක් නිකුත් කරනු ලැබේ.
  • ලියාපදිංචි කල බවට වන ලෝහ පතුරක් ලියාපදිංචි අංකයක් ද සමග සත්වයා හෝ වාහනය සදහා නිකුත් කරනු ලැබේ.

බදු නොගෙවීමේ දී

  • බලපත්‍රය ලබා නොගත් අය වෙත ප්‍රාදේශීය සභාව දැන්වීම් කරනු ලබයි.
  • වාහනය හෝ සත්වයාගේ හිමිකරු මහේස්ත්‍රාත් අධිකරණයට පමුණුවා දඩයක් අය කර ගනු ලැබේ.
  • ලියාපදිංචි අංකය සහිත ලෝහ පතුර ප්‍රදර්ශනය නොකල අවස්ථාවක සභාපති / ලේකම් හෝ බලය ලත් නිලධාරියෙක් හෝ පොලිස් නිලධාරියෙක් නියෝග කල විට එය ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් වාහනය / සත්වයා අත්අඩංගුවට ගත හැක. එවන් අවස්ථාවක භාරව සිටි තැනැත්තා හෝ හිමිකරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත පමුණුවනු ලබයි.

පහත සදහන් වාහන සහ සතුන් බදු වලින් නිදහස් කෙරේ

  • රඡයට හෝ ප්‍රාදේශීය සභාවට අයත් වාහන.
  • විකිණීම සදහා තබා ඇති වාහන.
  • මෝටර් රථ වාහන ආඥා පනතේ 2 වන වගන්තිය යටතට වැටෙන වාහන.

ඉඩම් සහ ගොඩනැගිලිවල හිමිකාරිත්වයේ වෙනස් වීම් ලියාපදිංචි කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 141 වගන්තියට අනුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි සියලු ඉඩම් හා ගොඩනැගිලි සහ එම ඉඩම් හා ගොඩනැගිලිවල අයිතිකරුවන් සහ කුලී නිවැසියන් ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කිරීම අනිවාර්යය වේ. එමෙන්ම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිදු වන ඉඩම් හා ගොඩනැගිලි සමිබන්ධයෙන් වන සියලුම ගනුදෙනු ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කිරීම අත්‍යාවශ්‍ය වේ.

  • ලියාපදිංචි කොට නොමැති අවස්ථාවලදී කොටස් වලට කැඩීම සහ සංවර්ධනය සදහා අවසර ලබා නොදේ.
  • එමෙන්ම ලියාපදිංචි කොට නොමැති විට ගොඩනැගිලි බලපත්‍ර නිකුත් කරනු නොලැබේ.

ගාස්තුව

මේ සදහා ගාස්තු අය කෙරෙන අතර, මෙම ගාස්තුව සභා තීරණ මත වෙනස් වේ.

සැපයිය යුතු ලේඛන

  • නොතාරිස් බලපත්‍ර හිමියෙකු විසින් සහතික කරන ලද අදාල ඉඩමේ හෝ ගොඩනැගිල්ලේ හිමිකම් ඔප්පුවේ පිටපතක්.
  • වරිපනම් අංකය, වටිනාකම සහ ඉඩම හෝ ගොඩනැගිලි පිළිබද අනිකුත් විස්තර.
  • අදාල ඉඩමේ හෝ ගොඩනැගිල්ලේ මායිම් හා ඒවා හදුනාගන්නේ කෙසේද යන වග
  • ඉඩම හෝ ගොඩනැගිල්ලට හවුල් හිමිකාරිත්වයක් ඇත්නම් එම හවුල් හිමිකුවන්ගේ නම් සහ ලිපිනයන්.
  • නොතාරිස් සහතිකය සහිත ඔප්පුවේ ලියාපදිංචි කරන ලද පිටපතක්.
  • මානක සැලැස්මේ පිටපතක්.

පටිපාටිය

  • ගාස්තුවක් ගෙවා අයදුම් පත්‍රයක් ලබා ගැනීම.
  • අයදුම් පත්‍රය හා සැපයිය යුතු අනෙකුත් ලේඛන භාර දීම.
  • එහි දී අයදුම්කරු ලබා දුන් තොරතුරු නිවැරදි ද යන්න තීරණය කිරීමට වරිපනම් ලේඛනය පරීක්ෂා කරනු ලැබේ.
  • ක්ෂේත්‍ර නිරීක්ෂණයක් සිදු කිරීම.
  • වරිපනම් ලේඛනය සංශෝධනය සදහා අනුමැතිය දීම.
  • වරිපනම් ලේඛනය සංශෝධනය කර අයදුම්කරුට දැනුම් දීම.

හිමිකරු අයදුම් පත්‍රය සමග ලබා දී ඇති තොරතුරු වරිපනම් ලේඛනයේ ඇති තොරතුරු හා නොගැලපෙන විට හිමිකම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අයදුම්කරුට දැනුම් දෙනු ලැබේ.

සමහර ඉඩම් විකිණීම සම්බන්ධයෙන් බදු අය කිරීම

1987 අංක 15 ප්‍රාදේශීය සභා පනතේ 154 වගන්තියට අනුව සමහර ඉඩම් විකිණීමේ දී බද්දක් අය කර ගත හැක.

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩමක් වෙන්දේසිකරුවෙකු, තැරැව්කරුවෙකු හෝ එවැන්නෙකුගේ සේවකයෙකු හෝ නියෝජිතයෙකු  විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ හෝ වෙනත් ක්‍රමයකින් විකුණනු ලබන අවස්ථාවක දී එම විකුණුම්කරු හෝ වෙන්දේසිකරු හෝ තැරැව්කරු හෝ ඔහුගේ සේවකයා හෝ නියෝජිතයා බද්දක් ගෙවිය යුතු වේ.

පටිපාටිය

  • ඉඩම පරීක්ෂාවට ලක් කිරීම.
  • ගෙවිය යුතු මුදල දැනුම් දීම.
  • එවිට ගෙවීම සිදුකොට රිසිට් පත් ලබාගත යුතුවේ.

දින 14 ක් ඇතුලත ගෙවීම පැහැර හැරි විට ඔවුනට එරෙහිව නීතිමය පියවර ගත හැක.

වරිපනම් බදු අයකිරීම

වරිපනම් බදු අය කිරීමේ ක්‍රියා පිලිවෙත

වරිපනම් බදු අය කරනු ලබන්නේ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ යම් ප්‍රදේශයක් දියුණු ගම් ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කල විටය.

වරිපනම් බදු  ගෙවීම සදහා සුදුසුකම්

තම දේපල ප්‍රාදේශීය සභා සීමාවේ දියුණු ගම් ප්‍රදේශයක් තුල පිහිටා ඇති විට, පහත දැක්වෙන ආකාරයන්ට අයත් ඉඩමක හෝ ගොඩනැගිල්ලක පදිංචිකරුවකු වීම.

  • ප්‍රාදේශීය සභා සීමාව තුල නිශ්චල දේපලක හිමිකරුවෙකු වීම.
  • ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි නිවසක, ගොඩනැගිල්ලක හෝ ඉඩමක කුලීහිමියා වීම.
  • ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි රජයට අයත් නිවසක, ගොඩනැගිල්ලක හෝ ඉඩමක හිමිකරු වීම.
  • ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි නිශ්චල දේපලක හවුල් හිමිකරුවෙකු (සම හිමිකරුවකු) වීම.

මෙහි දී,

  • තම දේපලෙහි වටිනාකමින් 7% ක් වරිපනම් බදු වශයෙන් ගෙවිය යුතු වේ.
  • අදාල වර්ෂයේ මුල් මාසය තුල වරිපනම් බදු ගෙවීමේ දී 10% ක වට්ටමක් අයිතිකරු වෙත හිමි වේ.
  • කාර්තුවක් සදහා ගෙවිය යුතු මුදල අදාල කාර්තුවේ පළමුවන මාසය තුල දී ගෙවනු ලැබුවහොත් 5% ක වට්ටමක් පිරිනමනු ලැබේ.
  • එසේ නොමැති නම් අදාල වර්ෂය තුල කාර්තු 4 ක් සදහා කාර්තුවෙන් කාර්තුවට වුවද වරිපනම් බදු ගෙවීමේ හැකියාව ඇත.
  • වරිපනම් බදු ක්‍රියාත්මක වන පෙදෙසක බිම් කොටසක් මිලයට ගන්නා අයෙකු ඒ සදහා නව වරිපනම් අංකයක් ලබා ගත යුතු වෙයි. (ඔප්පු සාරාංශයක් ඉදිරිපත් කිරීමෙන්)
  • දැනට වරිපනම් අංකයක් හිමි අයෙකුගේ සම්පූර්ණ දේපල පවරා ගන්නා අයෙකු නම් ඔප්පු සාරාංශයක් ඉදිරිපත් කර ප්‍රාදේශීය සභා වරිපනම් ලේඛනයේ නම ඇතුලත් කර ගත යුතුය.
  • වරිපනම් ලේඛනයේ නම සංශෝධනය කිරීමට හෝ නව වරිපනම් අංකයක් ලබා ගැනීමට අදාල ඔප්පු සාරාංශ පෝරමය ගාස්තු ගෙවා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබාගත හැක.
  • එම ඔප්පු සාරාංශ පෝරමය, තම ඔප්පුව ඉදිරිපත් කර නොතාරිස්වරයෙකු ලවා පුරවා සහතික කරගත යුතු වේ.
  • එසේ පුරවාගත් පෝරමය එහි පිටපතක් ද සහිතව මිනින්දෝරු සැලැස්මේ පිටපත් 2 ක් හා ඔප්පුවේ පිටපත් 2 ක් සමග කාර්යාලය වෙත ඉදිරිපත් කල යුතු වේ.
  • එව්ට ඔබේ නම වරිපනම් ගෙවන්නෙකු වශයෙන් ලේඛනගත වේ.

මේ පිළිබද වැඩි දුර තොරතුරු සභාවේ වරිපනම් අංශයෙන් ලබා ගත හැක.

දැනට වරිපනම් බදු අය කර ගනු ලබන ග්‍රාම නිලධාරී කොට්ඨාශ

හබරකඩ උතුර (කොටසක්) සිද්දමුල්ල දකුණ හබරකඩවත්ත
සිද්දමුල්ල උතුර ගැහැණුවල (කොටසක්) කුඩමාදූව
මීගොඩ උතුර (කොටසක්) දීපංගොඩ පනාගොඩ නගරය
කිතුලහේන ගොඩගම උතුර සංඝාරාම
ගොඩගම දකුණ රිලාවල පිටිපන නගරය
සියඹලාගොඩ උතුර පිටිපන උතුර (කොටසක්) සියඹලාගොඩ දකුණ
කිරිබේරියකැලේ (කොටසක්) වෑතර හෝමාගම උතුර
හෙරලියාවල හෝමාගම දකුණ පාලාගම
හෝමාගම නැගෙනහිර උන්දුරුගොඩ හෝමාගම බටහිර
වෙනිවැල්කොල හෝමාගම නගරය කහතුඩුව උතුර
කටුවාන (කොටසක්) කහතුඩුව දකුණ ගලවිලවත්ත දකුණ
කහතුඩුව නැගෙනහිර ගලවිලවත්ත උතුර කහතුඩුව බටහිර
මාදුලාව උතුර (කොටසක්) කිරිවත්තුඩුව උතුර ලියන්වල (කොටසක්)
කිතුලවිල මත්තෙගොඩ (මධ්‍යම බී) මූණමලේ
මත්තෙගොඩ බටහිර ලියන්වල (කොටසක්) මත්තෙගොඩ (මධ්‍යම ඒ)
මාදුලාව උතුර (කොටසක්) මත්තෙගොඩ නැගෙනහිර කිරිගම්පමුණුව
දියගම නැගෙනහිර මාගම්මන නැගෙනහිර දියගම බටහිර
මාගම්මන බටහිර    

මහඡන අවධානය සදහා ප්‍රචාරක දැන්වීම් පල කිරීමට අවසර ලබා දීම

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත හා පෙදු සම්මත අතුරු ව්‍යවස්ථා පනත අනුව ප්‍රාදේශීය සභා සීමාව තුල එලිමහන් ස්ථානයක මහඡනයාට දැක ගැනීම සදහා සවි කරනු ලබන ඕනෑම ප්‍රචාරක දැන්වීමක් සදහා අවසර ලබා ගත යුතුය.

  • ඕනෑම වචනයක්, ලිපියක්, ඉලක්කමක්, සංඥාවක්, ස්ථානයක්, පුවරුවක්, දැන්වීමක්, උපකරණයක්, පෝස්ටරයක් හෝ අත් පත්‍රිකාවක් යන ඒවායින් ඹ්නෑම එකක් ප්‍රදර්ශනය කිරීම හෝ ඉදිරිපත් කිරීම හෝ සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ප්‍රචාරණය අරමුණු කොට ගෙන ඕනෑම ඉඩමක්, ගොඩනැගිලිලක්, ව්‍යුහයකට ඉහලින් හෝ එල්ලා තැබීම දැන්වීම් ප්‍රචාරණයයි.
  • ප්‍රචාරක දැන්වීමේ ස්වභාවය අනුව බලපත්‍ර ගාස්තුව තීරණය කරනු ලබන අතර, සභාව විසින් කලින් තීරණය කරන ලද අනුපාතයකට අනුව එම තීරණය ගනු ලබයි.

පහත සදහන් අවස්ථා වලදී බලපත්‍ර ගාස්තු වලින් නිදහස් කෙරේ,

  • ප්‍රචාරක දැන්වීම පුණ්‍ය අරමුණක් සදහා වන විනෝද කටයුත්තක් සදහා නම්
  • මහඡන ප්‍රදර්ශනය සිදු කෙරෙන ස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන ප්‍රචාරක දැන්වීම්
  • රඡය විසින් සවි කරන ලද ප්‍රචාරක දැන්වීම්
  • ආගමික ආයතනයන්ගේ දේපල වල ස්ථාපිත ව්‍යාපාරික නොවන ප්‍රචාරක පුවරු
  • ඕනෑම ගොඩනැගිල්ලක ජනේලය මත තබා ඇති ප්‍රචාරක දැන්වීම් විකිණීමට තිබේ, බදු දීමට තිබේ, කුලියට දීමට තිබේ ආදී වශයෙන් දක්වමින් අදාල ස්ථානයන් හි තබා ඇති දැන්වීම්
  • ගෘහස්ථ නාම පුවරු
  • වෘත්තිකයන් විසින් භාවිත කරනු ලබන වර්ග අඩියකට අඩු නාම පුවරු

ඉදිරිපත් කල යුතු ලේඛන

  • විශාල එලිමහන් ප්‍රචාරණ පුවරු සම්බන්ධයෙන් වන විට එම දැන්වීම් ස්ථාපිත කරනු ලබන ස්ථානයේ 1 : 1000 ට නොඅඩු පරිමාණයකට අදින ලද සැලැස්මක්
  • පරිමාණය කුඩා කොට අදින ලද ප්‍රචාරක දැන්වීම් පිටපතක්

අයදුම් කිරීමේ පටිපාටිය

  • බලපත්‍රය අයදුම් කරමින් ලේකම්වරයා වෙත ලිපියක් ඉදිරිපත් කිරීම.
  • ප්‍රචාරක දැන්වීම ස්ථාපිත කිරීමට දින 7 කට පෙර ඉදිරිපත් කල යුතුය.
  • ස්ථිර දැන්වීමක් සදහා ස්ථානීය පරීක්ෂණයකින් පසුව දැන්වීමේ වර්ග අඩි ප්‍රමාණය අනුව ගාස්තුව තීරණය කරනු ලැබේ.
  • අයදුම්පත්‍ර හා අවසරපත්‍ර ගාස්තුව අය කරගැනීමෙන් අනතුරුව අවසර පත්‍රය නිකුත් කරනු ලැබේ.

එහි දී පහත සදහන් පරිදි ක්‍රියා කල යුතු වේ.

  • සියලුම ප්‍රචාරක දැන්වීම් පුවරුවල බලපත්‍ර අංකය හා බලපත්‍රය නිකුත් කල දිනය සහිත විය යුතුය.
  • අවසර පත්‍ර හිමියාගේ නම හා ලිපිනය ප්‍රචාරක දැන්වීමේ පැහැදිලිව සටහන් විය යුතුය.
  • බැනරයක් සම්බන්ධව වන විට, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මුද්‍රාව බැනරයේ තිබිය යුතුය.

රියදුරන්ගේ අවධානයට බාධා නොවන ස්ථානයක ප්‍රචාරක දැන්වීම ස්ථානගත කළ යුතු අතර, එය ඇසට හානිකර නොවන අයුරින් නොවිය යුතුය.

වෙළද බලපත්‍ර ලබා දීම

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 149 වගන්තිය හා 1952 අංක 6 දරණ පළාත් පාලන ආයතන (සම්මත අතුරු ව්‍යවස්ථාව) පනත අනුව සකස් කල අතුරු ව්‍යවස්ථාවල සදහන් ව්‍යාපාර සදහා වෙළද බලපත්‍ර ලබා ගත යුතු වේ.

බලපත්‍ර ලබාගත යුතු වෙළද ව්‍යාපාර

  • ලැගුම් නිවාස
  • හෝටල්
  • බත් කඩ, ආපන ශාලා සහ තේ හෝ කෝපි කඩ
  • බේකරි
  • කිරිපට්ටි හා කිරි වෙළදාම
  • ආහාර විකිණීම
  • මාලු විකිණීම
  • මස් විකිණීම
  • අන්තරාදායක හා අප්‍රසන්න වෙළදාම (සභාව මගින් ප්‍රකාශිත)
  • අනිත් කර්මාන්ත ශාලා
  • සිසිල් බීම කර්මාන්තශාලා
  • ලොන්ඩරි
  • සංචාරක වෙළදාම
  • ඝාතක මඩු
  • පොදු වෙළදපොලවල්
  • බාබර් සාප්පු

මීට අමතරව 1952 අංක 6 දරණ පළාත් පාලන සම්මත අතුරු ව්‍යවස්ථා පනත අනුව අන්තරාදායක හා අප්‍රසන්න වෙළදාමට අමතරව සභාව විසින් වාර්ෂිකව පනවන ව්‍යාපාර සදහා ද වෙළද බලපත්‍ර ලබා ගත යුතුය.

මේ සදහා සභාව විසින් ලබා දෙන අයදුම් පත්‍රය සම්පූර්ණ කර ඉදිරිපත් කල යුතුයි.

ගාස්තුව

  • රු. 1000.00 ක් හෝ ඊට අඩු මුදලක් (ව්‍යාපාරයේ වාර්ෂික වටිනාකම මත) වෙළද බලපත්‍ර ගාස්තුව ලෙස අය කර ගනු ලබයි.
  • වෙළද බලපත්‍ර හා කර්මාන්ත බදු අය නොකරන ව්‍යාපාර සදහා ව්‍යාපාර බද්දක් අය කරනු ලබයි.

පටිපාටිය

  • ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි සියලුම වෙළද ව්‍යාපාරයන් වෙත අයදුම්පතක් ලබා දීම.
  • සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍ර එකතු කිරීම.
  • අයදුම්කරු සපයන ලද තොරතුරුවල වලංගුභාවය පරීක්ෂා කිරීම.
  • මහඡන සෞඛ්‍යය පරීක්ෂකගේ අනුමැතිය සදහා යොමු කිරීම.
  • ක්ෂේත්‍ර නිරීක්ෂණයක් සිදු කිරීම.
  • අඩුපාඩු නොමැති විට බලපත්‍රය සදහා නිර්දේශ කෙරේ.
  • බලපත්‍ර ගාස්තු අය කර ගැනීමෙන් අනතුරුව බලපත්‍රය නිකුත් කෙරේ.

මහඡන සෞඛ්‍යය පරීක්ෂකගේ අනුමැතිය නොලැබුණු විට,

  • අයදුම්පත්‍රයේ ඇති අඩුපාඩු සදහන් කරමින් අයදුම්කරු වෙත ලිපියක් එවනු ලැබේ.
  • එකී අඩුපාඩු නිවැරදි කර ප්‍රාදේශීය සභාවට දැනුම් දිය යුතුය.
  • නැවත සිදු කරනු ලබන ස්ථානීය පරීක්ෂණයකින් පසු ව්‍යාපාරය සියලු සෞඛ්‍යය නීති හා කොන්දේසි සපුරා ඇත්නම් අනුමැතිය ලබා දී බලපත්‍රය නිකුත් කිරීමට කටයුතු සලසනු ලබයි.

වෙළද බලපත්‍රයක් ලබා නොගන්නා විට

  • වෙළද බලපත්‍රයක් ලබා ගන්නා ලෙස ව්‍යාපාරයේ හිමිකරුට අනතුරු අගවනු ලැබේ.
  • දැන්වීම සිදු කොට දින 7 ක් ඇතුලත බලපත්‍ර ලබා නොගත්තේ නම් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබිය හැක.

කර්මාන්ත බදු ගෙවීමේ පටිපාටිය

  • නගර සභා සීමාව තුල පිහිටි සියලුම ව්‍යාපාරික ස්ථානයන් වෙත අයදුම් පත්‍රයක් නොමිලයේ ලබා දෙනු ලැබේ.
  • අයදුම්පත් නැවත එකතු කර ගනු ලැබේ.
  • වාර්ෂික වටිනාකම මත රු. 1000.00 දක්වා වූ බද්දක් අය කරනු ලැබේ.
  • බදු ගෙවීමෙන් අනතුරුව ඒ සදහා වන රිසිට් පත ලබා ගත යුතුය.

මෙම බද්ද තීරණය කරනු ලබන්නේ,

  • ව්‍යාපාරයේ වාර්ෂික වටිනාකම
  • වෙළදාම
  • රැස්වන ලාභය
  • ව්‍යාපාර මගින් සපයනු ලබන නිෂ්පාදනයන්ගේ අත්‍යාවශ්‍යතා මට්ටම මතය.

වෙළද බදු නොගෙවීමේ දී

  • ව්‍යාපාරයේ හිමිකරුට දැන්වීමක් නිකුත් කරනු ලැබේ.
  • දැන්වීමට ප්‍රතිචාර දක්වමින් ගෙවීමක් සිදු නොකරන විට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරිය හැක.

ව්‍යාපාර බදු ගෙවීම

වෙළද බලපත්‍ර හෝ කර්මාන්ත බදු නොගෙවිය යුතු ව්‍යාපාර සදහා ව්‍යාපාර බදු ගෙවිය යුතුයි.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 152 වගන්තිය අනුව පසුගිය වසරේ ආදායම පදනම් කර ගෙන මෙම බද්ද නියම කෙරේ.

ආදායම බද්ද
රු. 6000.00 නොඉක්මවන විට නැත
රු. 6000.00 ඉක්මවන රු. 12000.00 ට අඩු රු. 90.00
රු. 12000.00 ඉක්මවන රු. 18750.00 නොඉක්මවන රු.180.00
රු. 18750.00 ඉක්මවන එහෙත් රු. 75000.00 නොඉක්මවන විට රු. 360.00
රු. 75000.00 ඉක්මවන එහෙත් රු. 150000.00 නොඉක්මවන විට රු. 1200.00
රු. 150000.00 ඉක්මවන විට රු. 3000.00

අයදුම්පත සම්පූර්ණ කර කාර්යාලයට භාර දීමෙන් පසු බදු මුදල ගෙවිය හැක.

ප්‍රාදේශීය සභාවට අයත් කඩ කාමර බදු දීම

ප්‍රාදේශීය සභා පනතේ 119 වගන්තිය අනුව හා 1980.12.31 දින පළාත් පාලන කොමසාරිස් විසින් නිකුත් කරන ලද අංක 1980-46 දරණ චක්‍රලේඛය අනුව වෙළද කුටි ඉදිකර සේවයක් ලෙස මහඡනයාට බද්දට දීමට ප්‍රාදේශීය සභාවට බලය ඇත.

ගාස්තුව

  • ප්‍රාදේශීය සභාව විසින් යෝඡනා සම්මතයක් මගින් තීරණය කරනු ලබන මුදලකට වෙළද කුටි ලබා දෙනු ලැබේ.
  • තෝරාගනු ලබන අයදුම්කරුවන් මාස 3 ක වාරිකයන්ට සමාන මුදලක් ආරක්ෂිතයක් ලෙස තැම්පත් කල යුතුය.
  • ප්‍රාදේශීය සභාව විසින් තීරණය කරනු ලබන ගාස්තුවකට ටෙන්ඩර් ලේඛන ලබා ගත හැක.

ඉල්ලුම් කිරීමේ පටිපාටිය

  • පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කිරීම.
  • ටෙන්ඩර් ලේඛන ගාස්තුව ගෙවීමෙන් පසු ටෙන්ඩර් අයදුම්පත් සභා කාර්යාලයෙන් ලබා ගැනීම.
  • ගාස්තුව හා නැවත ගෙවනු ලබන තැන්පතුව ගෙවීම.
  • ගාස්තුව හා නැවත ගෙවනු ලබන තැන්පතුව ගෙවූ බවට වන රිසිට්පත ද සමග ටෙන්ඩර් අයදුම්පත් ටෙන්ඩර් පෙට්ටියට දැමීම හෝ ලියාපදිංචි තැපෑලෙන් එවීම.
  • වැඩිම ලංසුව ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුට වෙළද කුටි බද්දට ගැනීමේ අවස්ථාව ලැබේ.
  • සාර්ථක අයදුම්කරුවන්ට ආරක්ෂක තැන්පතුව හා මූලික ගෙවීම සිදුකර විධිමත් ගිවිසුමකට පැමිණි පසු කඩ කාමර භාර ගත හැක.
  • වෙළද බලපත්‍ර ලබා ගත් පසු වෙළද කටයුතු ආරම්භ කළ හැක.

වාරික ගෙවීම පැහැර හැරීමක දී,

  • අවසන් දැන්වීම යැවීම.
  • ගිවිසුම අවසන් කල පසු සන්තකය ආපසු ලබා ගැනීම සදහා නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට අදාල ලේඛන පළාත් පාලන කොමසාරිස් වෙත යොමු කල යුතුය.

සන්තකය ආපසු පවරාගත් පසු,

  • රඡයේ හෝ පළාත් පාලන ආයතනයේ මුදල් වියදම් කර පැරණි වෙළද කුටි වෙනුවට අලුතින් වෙළද කුටි ඉදි කරන අවස්ථාවක දී පැරණි වෙළද කුටි වල කුලී නිවැසියන් නව වෙළද කුටිවල කුලී නිවැසියන් ලෙස තෝරා ගනු ලැබේ.
  • වාණිඡ බැංකුවකින් මුදල් ණයට ගෙන පැරණි වෙළද කුටි වෙනුවට අලුතින් වෙළද කුටි ඉදිකරන ලද අවස්ථාවක දී පැරණි මෙන්ම නව කුලී නිවැසියන් ද තෝරා ගනු ලැබේ.
  • බදු ගැණුම්කරුගේ ඉල්ලීම හෝ ඔහුගේ මිය යාම හේතුවෙන් බද්ද ඔහුගේ / ඇයගේ බිරිද / සැමියා හෝ දුව / පුතා වෙතට මාරු කළ හැකි අතර, එවැන්නක් සිදු කිරීමට අවශ්‍ය වූ විටෙක ලේකම් වෙතින් ඉල්ලීමක් කළ යුතුය.

සමාඡ ශාලා බලපත්‍ර ලබා දීම

1975 අංක 17 දරණ සමාඡ ශාලා බලපත්‍ර නිකුත් කිරීමේ නීතිය හා එයට කරන ලද සංශෝධන අනුව යම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක පිහිටි සමාඡ ශාලා එම ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි විය යුතුය.

ගාස්තුව

ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් විමසීම් කල යුතුය.

බලපත්‍රය ලබා ගැනීම සදහා සැපයිය යුතු ලේඛන

සමාඡ ශාලාවේ සභාපතිවරයා විසින් අත්සන් තබන ලද එහි නීති හා නියාමනයන්ගේ ලැයිස්තුවක් සහ ඉල්ලුම් පත්‍රය සමග,

  • අයදුම්කරුගේ නම
  • අයදුම්කරුගේ ලිපිනය
  • අයදුම්කරු සභාපති, ලේකම් හෝ කළමණාකරු යන තනතුරු වලින් කුමක් දරන්නේ ද යන්න
  • සමාඡ ශාලාවේ නම
  • සමාඡ ශාලාව පවත්වාගෙන යන ස්ථානයේ ලිපිනය
  • සමාඡ ශාලාවෙ ක්‍රියාකාරකම්
  • සභාපති, ලේකම්, හා භාණ්ඩාගාරික තනතුරු දරන්නන්ගේ නම්
  • සාමාජික සංඛ්‍යාව

ඉහත සදහන් තොරතුරු ප්‍රාදේශීය සභාව වෙත සැපයිය යුතුය.

ඉන් පසුව සිදුකෙරෙන ඉදිරි පියවර පිළිබදව ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් විමසා දැන ගත හැකි වේ.

ප්‍රසිද්ධ රැගුම් දැක්වීම සදහා බලපත්‍ර ලබා දීම

මෙහි දී, සැණකෙළි සහ සර්කස්, සංගීත සංදර්ශන විවිධ ප්‍රසංග හා මැඡික් සංදර්ශන සහ ක්‍රීඩා, නර්ථන, මල්ලවපොර හා පිහිනුම් උළෙල සදහා බලපත්‍ර ලබා දීම සිදු කෙරේ.

1912 අංක 7 දරණ ප්‍රසිද්ධ රැගුම් ආඥා පනතට අනුව ප්‍රාදේශීය සභා බල සීමාව තුල සිදු කෙරෙන චිත්‍රපට හෝ වේදිකා නාට්‍ය යන වර්ගීකරනය යටතට නොවැටෙන ඕනෑම සංදර්ශණයක් සදහා ප්‍රසිද්ධ රැගුම් දැක්වීමේ බලපත්‍රයක් ලබා ගත යුතුය.

මේ සදහා,

  • අයදුම්පත්‍රයක්, ගාස්තුවක් ගෙවීමෙන් තෙරව ප්‍රාදේශීය සභාවෙන් ලබා ගත යුතුය.
  • ගෙවීමක් සිදු කිරීම මත බලපත්‍රය නිකුත් කෙරේ. (ගාස්තුව කාලානුරූපව සභාව මගින් තීරණය කරන ලද්දකි)
  • ඡනතාවගේ විරෝධයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් තීරණයක් ගනු ලැබේ.

විනෝද බදු අය කිරීම

1946 අංක 12 දරණ විනෝද බදු ආඥා පනතට අනුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුල සිදු කෙරෙන සියලු මහඡන සංදර්ශනයන් විනෝද බද්ද ගෙවීමට බැදී සිටී. මෙම බද්ද සියලු සංදර්ශනයන්ගේ ප්‍රවේශපත්‍ර තුල ඇතුලත් වන අතර ආගමික, අධ්‍යාපනික හා පුණ්‍ය කටයුතු සදහා වන දර්ශනයන් හැර සෙසු සියලු සංදර්ශනයන්ගෙන් මෙය අයකරගනු ලැබේ.

ගාස්තුව

  • විනෝද බද්ද ලෙස අය කර ගනු ලබන්නේ ආදායමෙන් 10%ක ප්‍රතිශතයකි.
  • මහඡන සංදර්ශනයන් පිළිබද වගකීම දරණ තැනැත්තා / තැනැත්තන් මෙය ප්‍රවේශපත්‍රයේ මිලට ඇතුලත් කරනු ලබයි.

පටිපාටිය

  • ප්‍රාදේශීය සභා සභාපතිගේ මුද්‍රාව සියලුම ප්‍රවේශපත්‍ර වල යොදා තිබිය යුතුය.
  • සිනමා ශාලා නොවන අනෙකුත් සංදර්ශනයන සදහා මෙම මුද්‍රාව තැබීමේ දී අදාල බදු මුදල් ප්‍රාදේශීය සභාව ගෙවිය යුතු වේ. මෙය ආරක්ෂණ මුදලක් ලෙස තබා ගන්නා අතර සංදර්ශනයනය අවසානයේ දී නොවිකුණූ ට්කට් පත් සදහා අයකර ගත් මුදල ආපසු ලබා දෙනු ලැබේ.
  • මහඡන සංදර්ශනයනය පිළිබද වගකීම දරණ තැනැත්තා / තැනැත්තන් අලෙවි වූ ප්‍රවේශපත්‍ර පිළිබදව දෛනික වාර්තාවක් තබා ගත යුතුය.
  • එක් එක් දර්ශනය සදහා අලෙවි වූ ටිකට්පත්‍ර සභාවේ ආදායම් පරීක්ෂක / ආදායම් පරිපාලක විසින් පරීක්ෂාවට ලක් කෙරේ.
  • සිනමා දර්ශනය සදහා දෛනික වාර්තා අනුව අලෙවි වූ ටිකට් පත් සංඛ්‍යාව සලකා බලා ගෙවි යුතු ආදායමෙන් 10% ක බදු මුදල දෛනිකව අය කර ගනු ලැබේ.
  • විනෝද බදු ගෙවීම පැහැර හැරියහොත් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැක.

වීථි රේඛා සහතික නිකුත් කිරීම

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩම් කොටසක් මූල්‍ය ආයතනයකට උකස් කර ණයක් ලබාගැනීමේ දී එම ඉඩමට ප්‍රාදේශීය සභාව මගින් නිකුත් කරනු ලැබූ වීථි රේඛා සහතිකයක් අවශ්‍ය වේ. මෙම සහතිකයේ ඇති වැදගත්කම වනුයේ වීථි රේඛා කඩ කොට ඉදි කර ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රාදේශීය සභාවට බලය තිබීමයි.

සුදුසුකම්

  • අදාල ගොඩනැගිල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටා තිබිය යුතුය.

මේ සදහා,

  • ගාස්තු ගෙවා අයදුම්පතක් ප්‍රාදේශීය සභා කාර්යාලයේ වරිපනම් අංශයෙන් ලබාගත යුතු වේ.
  • අයදුම්පත, ඉඩම් සැලැස්මේ මුල් පිටපත පිටපත් දෙකක් සමග ඉදිරිපති කල යුතුය.
  • එහි දී අයදුම්කරු බදු, බලපත්‍ර ගාස්තු හෝ වෙනත් අදාල ගෙවීමක් හිග තැබීමක් කොට නොමැති බවට තහවුරු කර ගත යුතු වේ.
  • එසේ හිග තැබීමක් කර ඇති විටෙක එම මුදල් ගෙවිය යුතු වේ.
  • අයදුම්කරු විසින් ඉදිරිපත් කරන ලද සැලැස්මේ මුල් පිටපත්වල හා අනු පිටපත්වල වීථි රේඛා සලකුණු කිරීමෙන් අනතුරුව වීථි රේඛා සහතිකය නිකුත් කරනු ලැබේ.
  • සියලු හිග වරිපනම් බදු ගෙවා අවසන්කර තිබිය යුතුය.

නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම

යම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුල පිහිටි ඉඩම් කොටසක් සුරක්ෂිතයක් ලෙස මූල්‍ය ආයතනයකට උකස් කර ණයක් ලබාගැනීමේ දී එම ඉඩම ප්‍රාදේශීය සභව විසින් පවරා ගෙන නොමැති බවට වන සහතිකයක් නිකුත් කරනු ලැබේ. මෙය නොපවරා ගැනීමේ සහතිකය ලෙස හදුන්වනු ලබයි.

මෙම සහතිකය ලබාගැනීම සදහා පහත සුදුසුකම් සපුරා තිබිය යුතු වේ.

  • ඉඩම හෝ දේපල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටා තිබිය යුතු වේ.
  • වරිපනම් බදු හිග තැබීමකින් තොරව ගෙවා තිබිය යුතු වේ.
  • ඉඩම හෝ දේපල වීථි රේඛාවන් මත පිහිටා නොතිබිය යුතු වේ.

මේ සදහා වරින් වර සභාව විසින් පනවනු ලබන ගාස්තුවක් අය කර ගනු ලැබේ.

මේ සදහා සැපයිය යුතු ලේඛන,

  • ඔප්පුවේ සහ සැලැස්මේ පිටපතක්
  • අනිවාර්ය තොරතුරු
    • වීදියේ / පාරේ නම
    • වරිපනම් අංකය
    • පිහිටීම
    • හිමිකරුගේ නම
    • ඔප්පු අංකය හා දිනය
    • සැලසුම් අංකය හා දිනය

මෙම සියලු තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභාවේ සභාපති / ලේකම් විසින් අත්සන හා මුද්‍රාව තබන ලද නොපවරා ගැනීමේ සහතිකය නිකුත් කරනු ලැබේ.

දේපල තක්සේරු කිරීම

  • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල යම් දේපලක් තක්සේරු කර ගැනීමට අවශ්‍ය වූ විටෙක තක්සේරු දෙපාර්තමේන්තුව මගින් එම තක්සේරු කටයුතු සිදු කරවා ගනු ලැබේ.
  • ප්‍රාදේශීය සභාව මගින් ගොඩනැගිල්ලක් සදහා අනුකූලතා සහතිකය ලබා දුන් පසු එම ගොඩනැගිලි වල වාර්ෂික වටිනාකම දළ වශයෙන් තක්සේරු කරනු ලැබේ.
  • වෙන්දේසිකරුවෙකු විසින් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩමක් කොටස් කර විකි‍ණීමේ දී අදාල බදු මුදල් අය කිරීම සදහා එම දේපල තක්සේරු කරනු ලැබේ.
  • බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සියලුම කර්මාන්ත හා ව්‍යාපාර වලින් වාර්ෂිකව බලපත්‍ර ගාස්තුවක් හෝ ව්‍යාපාර බද්දක් අය කිරීම සදහා ද දේපල තක්සේරු කිරීම සිදුකරනු ලැබේ.
  • දේපලක් අත්පත් නර ගැනීමේ දී ද එම දේපලෙහි වටිනාකම තක්සේරු කිරීමට ලක් කෙරේ.

මේ ආදී කටයුතු වලදී කෙරෙනු ලබන දේපල තක්සේරු කිරීම පිළිබද වැඩිදුර තොරතුරු සභාවේ ආදායම් පරීක්ෂක හෝ ආදායම් පරිපාලක නිලධාරීන් වෙතින් ලබා ගත හැක.